Sunday, January 12, 2014

එකෝමත් එක දවසක -05

ලැබූ ජයග්‍රහණයෙන්න් මම උද්දාම උනෙමි. එදා ගෙදර ගියේ කෙසේදැයි වත් මට සිහියක් නැත. බැලූ බැලූ අත පෙනෙන්නේ ඇයවමය. ඇගේ සිනාවමය. පොඩි හෝ දුකකට තිබුනේ කොල්ලාගේ වැඩ නරඹන්න කිසිම යාළුවෙකු ප්‍රේක්ෂකාගාරයේ නොසිටීමයි. වරදින විට, කෙල්ලන්ට නෝන්ඩි වන විට, උන් රවන ගොරවන විට අපේ වටේ ඉන්නා හැටහුටාමාරක් තරම් වූ යාළුවො කියනා මගෝඩි රැලෙන් එකෙක් වත් අපිට හරියන විට ළඟපාතක නැත.
මා උන්නේ පහුවෙනිදා පාසල් යනකන් ඇඟිලි ගනිමිනි. මතක ඇති දා පටන්ම උදේ පාන්දරට නැගිටින විට “ අනේ අදවත් ඉස්කෝලෙට බෝම්බයක් වැටිලා ඇතැයි” යන සුන්දර බලාපොරොත්තුවක් පිරි සිහිනයක සැරිසරන මම, එදා රැයෙහි දෙතුන් පාරක් එලිවී ඇතැයි සිතා නැගිට්ටෙමි. වෙනදාට හයට කාලක් වන තුරුම මාව නැගිට්ටවන්න දහඅට පාලියම නටන අම්මා, එදා උදේ පහට මම කුස්සියට යන විට නොසන්සුන් උණාය. ඈ මට උණදැයි අසා, නැතැයි පිළිතුරු දුන් කල කල්පනාකාරී බැල්මක් හෙලුවත් කිසිත් නොකිව්වාය.
කොල්ලා නැගිට්ටාදැයි අසාගෙන තාත්තා කුස්සියට එන අන්දමද ඊට අම්මා දුන් පිළිතුරෙන් පුදුමයට පත් තාත්තා “ කිරි අප්පට බල්ලෝ පැනපි” යයි මහා හඩින් කියනා සද්දයද පැහැදිලිවම ඇසුනත් මම වැසිකිලියේ ඇනබාගෙන මගේ දිව්‍යන්ගනාව ගැනම තවදුරටත් කල්පනා කරමින් උන්නෙමි.
මා පාසලට යාමට ගෙදරින් එලියට බහින විට අම්මා සහ තාත්තා එකිනෙකා දෙස හොර බැලුම් හුවමාරු කරගන්නවා පැහැදිලිවම දුටුවත් එය නොදුටුවා සේ මම “ගිහින් එන්නම්” කියාගෙන ගියෙමි. කවුරු කොහොම කිව්වත් අපේ අම්මාට දෙයක් හංගනවා බොරුය.

මා පන්තියට යනවිට ලපයා සිය මුණ හතරැස් කරගෙන විරව විරවා සිටියේය. මම උගේ මුණ ගැන නොසිතා “ අඩේ මචෝ..” යයි ආරම්බ කර ඊයේ වූ සිද්දියට ලුණු ඇඹුල් දා කියාගෙන ගියත් සතපහකට ගණන් ගත්තේ ඌ නෙමේය. “ ගල් මුසලයා. තෝ මට හරිගියාම ඔහොම ඉඳල හරියනවද බූරුවෝ..” යයි ඌට බැනවැදුණු කල ඌ කිවේ මම මගුලක් කතා කරන බවයි.

ප්‍රශ්න කරගෙන යනවිට උගේ දුකට හේතු වූ සිද්දිය අනාවරණය වූ අතර එයට මුල් වී තිබුනේ කොටි කුමාරිය ය. ඉතින් මේ කොටි කුමාරිය කවුදැයි සදහන් නොකොට දිගටම ලියාගෙන යෑම සිදු නොකළ හැකිය. කෙල්ලන් දහස් ගණනක් දැක තිබූ මට ජිවිතයේ මුණගැසුණු වෙනස්ම ගෑණු ළමයෙකි මේ කොටි කුමාරි. මට පමණක් නොව අපේ වයසේ සිටි කොල්ලන් සියලුම දෙනා ඒකමතිකව එකඟ වී සිටියේ කොටි කුමාරිය යනු නියමම කොටි දෙනක් බවටයි.

අපි ඈ ගැන දන්නේ ටිකකි. ඇගේ යාලුවෝ ඈට “කුමාරි” කියා කතා කරති. කෙල්ලෙකි. කොලු කෙල්ලෙක් නොව නියම කෙල්ලෙකි. මාර ලස්සනක් නැත. ඒත් හිත් ඇදගන්නා පෙනුමක් ඇත. කොල්ලන් පේන්න බැරිය. බැරිවෙලාවක් වත් විහිළුවක් කලොත් මාරාන්තික රැවිල්ලක් රවයි. දවසක් මා දෙස බලා දත්මිටි කාපු කෑමට මාව සිතල වී ගියේය. කොල්ලන් දෙතුන් දෙනෙක් සිටි නම් ඈට මුණ දෙන්න පහසුය. නැත්තන් නම් හොඳම දේ තමුන්ගේ පාඩුවේ සිටීමයි.

ඇය කතා කරන කොල්ලන් දෙතුන් දෙනෙක් ඇත. උන්වද අතේ දුරින් තබාගෙන සිටියි. ඈට යාලුවෝ සිටියි.ඒත් වැඩිය නැත. දවසක් බස් එකේ යනවිට මම සිටියේ ඇයට පිටුපසිනි. නමුත් ඈ මාව දුටුවේ නැත. ඇගේ යාළුවන් තුන් දෙනෙක් ඇය සමග විය. මම නිකමට උන් කතා කරන එකට කන දාගෙන ගියෙමි. ඇය නියමම පිස්සු මරගාතයකි. කියන කරන ඒවා අහන් ඉන්න කෙනෙකුට උනත් හිනා යයි. එතන සිටි එක ගෑණු ළමයෙකුව මම අදුරනවාය. හිනා වේවි හිටපු නිසා මා කතා කලාට කමක් නැතැයි බුරුවෙකු සේ වැරදි නිගමනයකට පැමිණි මම, දැන් දුටුවා සේ මා අදුනන ගෑණු ළමයාට තට්ටුවක් දැම්මෙමි.

මම:- “ ආ දැන් නේ දැක්කේ..”
අඳුනන ගෑණු ළමයා:- “ ආ කොහොමද.. කාලෙකින් නේ..”
කෙල්ලන් හතර දෙනාම මා දෙස බැලුවේ එකටය. කොටි කුමාරිගේ මූන ඇසුරු සැනින් වෙස් මුණක් දැම්මාක් මෙන් වෙනස් විය. මෙන්න ඈ දැන් ෆුල් සිරියස් මුඩ් එකක
මම: “ඕගොල්ලන්ගේ මාර සද්දයක් නේ තියෙන්නේ.
අඳුනන ගෑණු ළමයා: “පිස්සු.. (හිනා වෙයි. කොටි කුමාරි හැර ඉතිරි තිදෙනාම හිනාවෙති)
මෙතැන් පටන් මම කොටි කුමාරිව K.K යයි හදුන්වමි
කලඳක් හෝ මොලයක් තියෙන ගොන් බුරුවෙකුවත් නොකරන වැඩක් මා කළේ එවිටය. එනම් K.K දෙසට හිස දිගු කොට “ මෙන්න මෙයා තමයි වැඩියම කෑ ගැහුවේ” යි කීමි. K.K ගිනි පිටවෙන දෑසින් මා දෙස බැලුවාය. තමුන්ට පුළුවන් තරම් තදින් දත්මිටි කෑවාය. මිතුරියන් ඉන්න නොඉන්න වගක් නැතුව පිඹගෙන බස් එකේ ඉස්සරහටම ගියාය. මා අදුනන ගෑණු ළමයා “ ඒ එයාගේ හැටි” යයි කියනවා මට වෙනත් ලොවකින් මෙන් ඇසුණු අතර ජිවිතයේ පලවෙනි වතාවට ගෑණු ළමයෙකුගේ රැවිල්ලක් නිසා මගේ කකුල් පණ නැති උනේ එදාය.

ඉතින් ලපයාටද මා කාපු හෝටලෙන්ම බඩු හම්බවෙන්නට ඇතැයි මට සිතුනු අතර, එය එසේම වී තිබුණි. K.K ගේ යාලුවෙක්ට පැණි හලමින් පස්සෙන් ගිය ලපයා ( අහිංසක ඇටකටුස් ද සමගින්), K.K විසින් ගම්පහ නගරය පුරාම ඇවිද්දවා ඇත.
     



ඒ කෙසේද යත් මීළඟ කොටසින් - රොටියාට නිදිමත නිසා

6 comments:

  1. ela machan. Awla parakkwa withari :p. Ela ela.

    ReplyDelete
  2. ikmanatama dannan macho elanga kaalla :D

    ReplyDelete
  3. අනේ බන්...උඹ ඒ කාලෙ ඉඳන්ම ඔච්චර කෙල්ලොන්ට බයද....? :D :D :P

    ReplyDelete
  4. I Like this Lot #Rotiya Baba Ayya ^_^

    ReplyDelete