Friday, January 17, 2014

රොටියා සහ බල්ලෝ

රොටියාගේ ගෙදර බල්ලන් රංචුවක්ම ඇත. බල්ලන්ගෙන් මුදුනා ටින් ටින්ය. ටින් ටින් ගේ වලිගය කොටය. දැන් රොටියාගේ ගෙවල් පැත්තේ අලුත් පරම්පරාවේ හැම බල්ලෙකුගේම වාගේ වලිගය කොටය. මේවා ටින් ටින්ගේ වැඩ බව අපි දන්නවාය. නමුත් කරන්න දෙයක් නැත්තේය. ටින් ටින් ගේ මනමාලකම ඉවවහා ගොස් ඇත්තේය. දැන් ඌට අවවාද කොට පලක් නැත්තේය. උගේ මුල් ළමාවිය හරියට සංවර්දනය කරගන්නට බැරි උනේ අපේම ගොන් කම නිසාය. ඌ පොඩි කාලේ සිටම මරුමුස් වැඩ කරන විට අපි ඒවා මහ ලොකු කමක් විදියට සිතාගෙන අහල පහල එව්වන්ටත් අපේ බලු පැටියාගේ හපන්කම් ගැන පුරසාරම් කීවෝය.ඌට දෙකක් දී හදා නොගත් වරදට දැන් ඌ අපිට කොකා පෙන්නනවාය.
ඌ ගමපුරා මනමාල කමේ යන්නේ නැත. ඒවා කරන්නේ මෝඩ බල්ලන්ය. මූ මෝඩ නැත. මූට රොටියාට වඩා කල්පනා ශක්තියක් තියෙනවාය. ගමේ බලු සංගමයේ කැදවුම්කරු ඌය. ඉතින් බල්ලන් අතර මූ පොර වී ඇත්තේය. බැල්ලියන් ඌට වහ වැටි ඌව සොයාගෙන අපේ ගෙදරට එනවාය. ඇහැට කනට පේන බැල්ලියෙක් නම් ආයේ කතා කරන්න දෙයක් නැත.
ඌ නිසා උගේ සහෝදර රෙක්ස්ටන් ට හතේ හත වැදී ඇත්තේය. බැල්ලියන් රෙක්ස්ටන් ව ගණන් ගන්නේ නැත. බල්ලාට රෙක්ස්ටන් කියා නම දැම්මේ අපිට රෙක්ස්ටන් ජීප් එකක් නැති නිසාය. කවුරු හරි ගෙදරට ආ කල රොටියාගේ මල්ලි ඌට පවරා ඇති රාජකාරිය අකුරටම කරමින් ‘අයියේ රෙක්ස්ටන් කෝ?’ යයි රොටියාගෙන් විමසයි.
‘ඕගොල්ලෝ රෙක්ස්ටන් එකක් ලඟදි ගත්තාදැයි ‘ අසා ‘ නැත ඒ අපේ බල්ලායි’ පැවසු විට අහපු එකාට බල්ලා බලන්න උවමනා උනොත් ඉන්නේ කළු හඩු බල්ලෙකි. ඒ රෙක්ස්ටන් නාන්න හොර නිසාය. ටින් ටින් නම් කොයි වෙලෙත් ජැන්ඩියට හිදී.
රෙක්ස්ටන් ට රොටියාගේ වත්තේ වැඩට එන මාමා කියන්නේ සෙක්ස්ටන් කියාය. අපි මාමාට රෙක්ස්ටන් හා සේක්ස්ටන් අතර වෙනස උගනන්න නොයන්නෙමු.
හැමෝටම මුට්ටි අල්ලමින්, වලිගය වන වනා බිම පෙරෙලෙමින් ඉන්නේ සුසීය. සුසී රොටියාගේ ගෙදර බලෙන් බින්න බැහැපු බැල්ලියෙකි. ටින් ටින් ගෙන් බේරා ගත නොහැකි වූ සුසීට වඳ සැත්කමක් කොට ඇත්තේය. සුසිව දකින ඕනෑම කෙනෙක් ‘අනේ ෂෝක් බල්ලා යි’ පවසනවාය. උගේ ෂෝක දන්නේ අපිය.
රොටියාගේ ගෙදර ඇල්ශේෂන් බැල්ලියෙක් ද නිල බල්ලා වශයෙන් හිඳී. ඌ සිබා ය.ඌ මේ ඊයේ පෙරේදා වෙනකන් යස අපුරුවට කියන දෙයක් කරගෙන සිටියාය. ටින් ටින් ඌට ඇහැ දමා ඌව වසඟ කර ඇත්තේලඟකදීය. දැන් සිබා කොටුවෙන් පැන ටින් ටින් සොයා යයි. ටින් ටින් ට සිදුවී ඇත්තේ කෙහෙල් ගහට කොටපු කොට්ටෝරුවාට වුනු දේය. ගමේ බැල්ලියන් මෙන් හතර පහක් වෙන සිබා එක්ක ටින් ටින් ට ලෙල්ලම් වී ඇත්තේය. සිබා ටින් ටින් දුටු සැනින් පිම්මක් පැන ගැම්ම ගෙන ටින් ටින්ගේ බෙල්ලට පනී. ටින් ටින්ව හතරට පහට නැවි යයි. මදක් ගෙරෙව්වුත් පසු බසින්නේ අපේ සිබා නෙමේය. එනිසා ටින් ටින් දැන් වැඩිපුර ඉන්නේ ගෙදරින් පිටය.
රොටියා, රොටියාගේ අයියා සහ මල්ලි සැලසුම් කරන්නේ තව බල්ලෙක් ගෙදරට ගෙන්නටය. රොටියාගේ තාත්තාගෙන් නම් විරුද්දත්වයක් නැති මුත් බල්ලාව ගෙනාපු සැනින් පෙති ගසන බවට අනතුරු අඟවා ඇත්තේ රොටියාගේ අම්මාය. එනිසා බලු රංචුවට අලුත් සාමාජිකයෙක් එක්වන දවස දින නියමයක් නොමැතිව කල් ගොස් ඇත්තේය.




1 comment:

  1. පිස්සු හැදෙනවනේ....

    හි හි හි... නියමයි

    ReplyDelete