Thursday, February 27, 2014

එකෝමත් එක දවසක-11

හිතට එකඟව කතා කලොත්, මට නම් මගේ විබාගය ගැන සැහීමකට පත් විය නොහැකි විය. මම පමණක් නොව, විබාගයට මාසයක් තබා නදී විසින් අත්හරිනු ලැබූ ලපයා ද හිටියේ තෝන්තු වී ගෙනය. බකයා හා ඇටයා නම් කැම්පස් යාමට සුදානම්ව බඩු මලු ඇසිරීමට පටන් ගත්තේ විබාගය ඉවරවූ දාට පසුවදා සිටය. බකයා නම් මෙඩිකල් කොලිජියේ මුල් කාලයේ වැඩ පහසු කරවන පංතියකට පවා යාමට පටන් ගෙන සිටියාය.

ලපයා හා මම සිදුකල බැරෑරුම් සාකච්චාවකට පසුව අප දෙදෙනා දෙවන වර ද  විබාගයට හිඳ ගැනීම පිණිස වූ පුනරීක්ෂණ පන්ති යාමට පටන් ගත්තෙමු. අප දෙදෙනාගේම මාපියන් නම් මෙයට කිසිම අදහසක් පල කිරීමට ඉක්මන් උනේ නැත.මගේ අසීමිත චිත්තප්‍රිතියටද, ලපයාගේ දරුණු වයිරයටද හේතු වෙමින් මගේ කුමාරිකා තොමෝද අප යන්නට පටන් ගත් සියලුම පන්ති වලට එකක් නෑර සහබාගි වුවාය. 


ලපයා මට සුද්ද සිංහලයෙන්ම පැහැදිලි කර දුන්නේ මොන කිරිල්ලිය ආවත් මෙවර නම් එක්සිත්ව විබාගය කල යුතු බවයි. මගේ හදවත එයට ඇහුම්කම් දීම ප්‍රතික්ෂේප කලද බුද්ධිය විසින් ඇඟවූ අනතුර නිසා මමද ඌගේ අවවාදය පිළිගත්තෙමි. මොනවා උනත් මගේ කුමාරි මට විස්වාසයි. කවදාවත් මා හැර වෙනත් කෙනෙකු සමග ඈ ආදරයෙන් වෙලෙන්නේ නෑ. විබාගය ඉහලින්ම පාස් වී A තුනක් ගත් මම ජයග්‍රාහී ලෙස ඈ වෙත ගොස් (රතුපාට රෝස මල් පොකුරක්ද සමගින්) මගේ ප්‍රථිපල ඇයට පවසන අයුරු මම හිතේ ඇඳ ගත්තෙමි. මම ඔයාට ආදරෙයි ඔයා මාව බඳිනවද. 

"යකෝ" ලපයාගේ හඬින් මගේ සිහිනය බිඳී ගියේය. " තෝ හිතන්නේ මොකක් ගැනද කියල මම දන්නවා. උඹට මම විබාගෙට කලින් බාගෙට කතාවක් කිව්වා. එකේ ඉතුරු ටිකත් නොකිව්වොත් තෝ මේ සැරෙත් විබාගේ අනාගන්නවා. වර හවසට මාත් එක්ක ගමනක් යන්න"
කොහෙද යන්නේ. අනික මම හිත හිත හිටියේ වෙන දෙයක් ගැනනේ
"තෝ මාව තම්බන්න එහෙම හදන්න එපා. තෝ එන්න ඕනේ මාත් එක්ක අද. ආවේ නැත්තන් මම ඔක්කොම ඇන්ටිට කියනවා" ලපයා උගේ අන්තිම තුරුම්පුව එල්ලය බලා දමා ගැසුවේය. මම යටත් උනෙමි. නිකම්ම නොව ඌට සුද්ද සිංහලෙන් දෙසා බෑමෙන් පසුව..

හවස තුනට පමණ මාව කැඳවාගෙන යාමට ලපයා පැමිණියේ උගේ අයියාගෙන් ඉල්ලා ගත් මෝට බයිසිකලයේය. මුළු මුණම වැසෙන ආකාරයට හෙල්මටය පැළඳ සිටි ඌ මටද ඒ ජාතියෙන්ම එකක් මොන දිපන්කරෙන් හෝ සොයාගෙන ඇවිත් තිබුණි.

යාලුවෙක් ගේ ගෙදර යන බවට අම්මාට සුපුරුදු බොරුව පැවසු මම බයිසිකලයේ පිටුපසට නැග්ගෙමි. ලපයාට ලැයිසොන් නැති මුත් ඌ අයියාගේ ලයිසොම හොරෙන් රැගෙන විත් තිබුණි. කියවන ඔබට මතක නම් ඒ දිනවල, එනම් මීට දශකයකට පමණ ඉහත මෙකල මෙන් පොලිස් මාමලා අඩියෙන් අඩිය ට සිටියේ නැත.

"තෝ මාව මරන්නද එක්කං යන්නේ කාලකණ්නියා. කියපිය අපි මේ කොහෙද යන්නේ කියල"

"බලන් හිටු. මම මේකට එක්කං ගියේ නැත්තන් නං තෝ මැරෙනවා තමයි. කොහෙද යන නැට්ටිච්චියෝ පස්සෙන් ගිහින්"

එදා ලපයා හා මම කතා කරපු විදිය පුළුවන් උපරිම ආකාරයට ශිෂ්ට සපන්නවා කිව්වොත් ඔන්න ඔහොමය. ඇත්ත වශයෙන්ම ලපයා උගේ වාග් මාලාවේ තිබූ අසන්ශික්ප්ත වදන් සියල්ලේම උපරිම ප්‍රයෝජනය ගත්තේ එදා බව මම වගකීමෙන් යුතුව කියනවාය. කොහොම නමුත් එදා ඌ මාව රැගෙන ගියේ මීගමුවේ තිබූ එක්තරා අතුරු පාරකටය. පාරවල් වලින් එහෙට මෙහෙට හරවමින් යන්නේ මොන තුත්තුකුඩියේ දැයි නිනව්වක් නැතිව මමද ඔහේ වාඩි වී සිටියෙමි. අවසානයේ අප නැවතුනු මංසල පිහිටියේ පාරේ අතිශයම පාලු තැනකය. මෙතැන් සිට මා මොන අකාරයෙන් කතා කලත් ලපයා නම් කටක් හෙල්ලුවේ නැත. උගේ දැන්වීම පරිදි මමද හෙල්මටය නොගලවාම සිටියෙමි. 


මෙලෙස පැය බාගයකට ආසන්න වෙලාවක් මගේ ගුණ වැයුම් හමුවේ ලපයා නොසැලී ම බලා සිටියාය. ටික වෙලාවකින් මෙන්න ඈතින් හිමිහිට පැමිණෙන දෙන්නෙක්.

මගේ හිත නොගැහුනා කිව්වොත් බොරුය. මොනවා උනත් මට මගේ කුමාරි විස්වාසයි. උස හැඩරුව ඒ වගේ කට්ටිය තව කොච්චරක් නම් ඉන්නවා ඇතිද. අන්තිම මොහොතේ පවා මම මගේ හිතට වංචා කළේ එහෙමය.

ටික වෙලාවක් බයිසිකලය අතපත ගාමින් සිටි ලපයා ජෝඩුව ලංවෙනවාත් සමගම මාත් සමගම බයිසිකලයට නැග ගත්තේය. මගේ හීනය ටික ටික බිඳ වැටෙන බව මටම තේරුණේය. ඒ නම් ඈම තමා

ලපයාට අවැසි වුයේ මට සත්ය පෙන්වා නුවණ පහල කරවන්නට වුයේ නමුදු, සිද්දිය දුටු පසු මට තව දුරටත් ඉවසගෙන සිටීමට නොහැකි විය. ඇය මට කවදාවත් ආදරෙයි කියා නම් නෑ තමා, ඒත් මං දිහාවට නෙත් හීසර එවමින්, මගේ අදහස ඈට අඟවද්දී පෙරලා කැමති බව අඟවමින් (මෙය සඳහන් කිරීම නම් මහා නරක පුරුද්දක් උනත් සඳහන් නොකොට බැරිය- මා දුන් තෑගී පිලි ගනිමින්)මොකද්ද ඈ මා සමග කල සෙල්ලම. බළලෙක් මරන්නට පෙර මීයෙක් සමග සෙල්ලම් කරනවා මෙන් ඈ මගේ කැමැත්තෙන් කුරිරු ප්‍රීතියක් අත්වින්දාවත්ද....

" අඩේ ලපයා තෝ දැන් මම කියන විදියට කරන්න ඕනේ හරිද. මෙච්චර වෙලා තෝ කියපු කියපු පදේට මම නැටුවනේ"

මට පිළිතුරු ලෙස පාලි සංස්කෘතයෙන් මා ඇමතු ලපයා, පසුව මා කියූ ලෙසටම මනාල යුවල ළඟ බයිසිකලය නැවත්තුවාය. යුවල නැවතී බියපත්ව බයිසිකලය මත සිටි දෙදෙනා දෙස බැලූ මුත් අපව අඳුන ගත්තේ නැත. මොන පඟර නැට්ටෙක් එක්කද මල හත්තිලව්වේ මේකී මේ යාලු වෙලා ඉන්නේ

මම හෙල්මටය ගලවා අතට ගතිමි. මුවපුරා හිනැහුනෙමි. " හානේ මේ ඔයානේ.. මම නිකමට නැවතිලා සැකේට බැලුවේ"

ඇය තිගැස්සුනාය. හරියට සන්නියක් හැදුනා වගේ..හොල්මනක් දැක්කා වගේ.. 


අවසානයේ විනාඩියකට පමණ පසු යන්තම් ඈ වචන පිට කරගත්තාය. " මම මේ පොඩ්ඩක් අයියත් එක්ක ඇවිදින්න ආව. ඕගොල්ලෝ කොහෙද මේ"

"අපි මේ යාලුවෙක් ගේ ගෙදර යන ගමන්. දැක්ක නිසයි නැවතුනේ.. පරක්කු වෙනවා ගිහින් එන්නම්. බායි.." මම ඇයට අත වනනවාත් සමගම බයිසිකලය ඉගිලුනේය.

ආපසු එන ගමනේදී ලපයා වචනයක්වත් කතා කළේ නැත. ඌ මාව ගෙදරින් බස්සවා ටික වෙලාවක් මදෙස බලා හිඳ " උඹ නම් එල කොල්ලෙක් මචං" කියා බයිසිකලය හරවාගෙන යන්න  ගියේය

මේ කතාව මෙතනින් ඉවර උනා නම් මං කැමතිය. නමුත් සැබෑ ජීවිතයේදී අපට ඕනෑ ආකාරයට සියලු දේ වෙන්නේ නැත. හරියට මේ සිද්දියෙන් පසු මම සති දෙකක් නිවසටම වී හිටියා වගේ.. මගේ කුමාරිය වෙනත් පුනරීක්ෂණ පන්ති වලට යන්න පටන් ගත්තා වගේ.. මට පළමු වර උසස් පෙළ ප්‍රතිපලය ලෙස C සමාර්ථ තුනක් ලැබුනා වගේ.. ලපයා එක විෂයකින් අසමත් වී අනෙක් දෙකටම B සමාර්ථ දෙකක් ගත්තා වගේ.. දෙවන වර විබාගයෙන් මම බලාපොරොත්තු වූ විශ්ව විද්‍යාලයටම තේරුණා වගේ.. මගේ වංචාකාර කුමාරිකාවත් ඒ විශ්ව විද්‍යාලයටම තේරුණා වගේ..

කැමති නම් විස්වාස කරන්න. මගේ ජීවිතය කැරකුණේ ඔන්න ඔහොමය. එම නිසා මේ කතාව තව ටිකක් දික් වෙනවාය. තව පොඩ්ඩක්..


2 comments: