Sunday, March 9, 2014

එකෝමත් එක දවසක-12

දෙවන වර විබාග ප්‍රථිපල අනුව මා තේරී තිබුනේ මා බලාපොරොත්තු වූ විශ්ව විද්‍යාලයටමය. එහි ක්‍රියාත්මක කෙරෙනා පාඨමාලා අතුරින් හොඳම සිසුන් ඇතුල් කරගන්නා පාඨමාලාවට නොව සිව්වන හෝ පස්වන තැන රැඳී සිටිනා පාඨමාලාවටය මා තේරී තිබුනේ. ලපයා වෙනත් විශ්වවිද්‍යාලයක (ලංකාවේ ලස්සනම විශ්වවිද්‍යාලයේ) හොඳම පාඨමාලාව සඳහා තේරී තිබුණාය

මගේ කුමාරිය ගැන කිවහොත්, ඈ මා තේරුණු විශ්ව විද්‍යාලයේම පළමු තැනට වැටෙන පාඨමාලාවට තේරී තිබීම ලපයාගේ දරුණු වයිරයට භාජනය වූ අතර, කොල්ලන් නටවමින්, උන්ව වලට ඇද දාමින් හීන් සැරේ තමුන්ගේ වැඩේ කරගත් චිංචි මානවිකාවක් ලෙස හෙතෙම ඇයට පරිභව කළාය


පළමු සැරේම විශ්ව විද්‍යාලයට යෑමට තරම් වාසනාවන්ත වුනු ඇටකටුස් මේ වන විට දෙවැනි වසරේ ශිෂ්‍යයෙක් ව සිටි අතර, ඌත් සමගම කැම්පස් යෑම සඳහා සුදානම් වෙමින්, විශ්ව විද්‍යාලිය පාඨමාලාවන් පහසු වනු පිණිස අමතර පන්ති පවා ගිය බකයා පළමු සැරේ මුළු විබාගයෙන්ම අසමත් වී තිබුණු අතර දෙවැනි සැරේද එක් විෂයකින් අසමත් වී සිටියාය. එයින් නොසැලුණු ඌ තෙවැනි සැරේටද විබාගය කල අතර අද වනවිට හෙතෙම නැගී එන තරුණ දොස්තරවරයෙකුව හිඳිමින් රෝගීන් සුවපත් කරමින් සිටියි


ලපයාව මඥන් කරමින් ඌට බඩු හම්බ කල නදී, අපි කැම්පස් යන කාලය වනවිට එක්දරු මවක්ව සිටි අතර, දරුවාගේ පියා නම් තමා නොවන බව ලපයා අප සියලු දෙනාටම නිහතමානිව ප්‍රකාශ කළේ අපේ ප්‍රශ්න කිරීම් හමුවේය.


මීට අමතරව මේ කතාවට අතර මැදින් සම්බන්ද වූ කොටි කුමාරිය හෙවත් K.K පිළිබඳව අපි කිසිවෙකුට තොරතුරක් නොලැබුණු අතර, අප දැනන් සිටියේ ඈ දෙවැනි වර විබාගය නොකළ බව පමණි. උසස් පෙළ සමයේ වරින් වර සුළි කුණාටුවක් මෙන් අපේ ජීවිත හරහා හඹා ගිය ඈ පිළිබඳ මතකය අපේ හිත් වලින් කෙමෙන් කෙමෙන් ගිලිහි ගියාය.

වෙනස් විශ්වවිද්‍යාල දෙකකට යෑම සඳහා වෙන් වන විට ලපයා මට වැදගත් අවවාද කීපයක්ම ලබා දුන් අතර, එයින් පළමු එක නම් ආයෙත් අරකි පස්සෙන් එහෙම ගියොත් තෝ හමගහනවා යන්නය. එය තර්ජනයකට වඩා අවවාදයක්ම විය

මා ගිය විශ්වවිද්‍යාලය, නවක වදය යන සංකල්පය ක්‍රියාත්මක නොවූ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විශ්ව විද්යාලයක්ම වූ බව මා සඳහන් කරන්නේ හද පිරි සතුටිනි.කොලු කමට සිද්ද කල මගෝඩි වැඩ එකක් දෙකක් ඇරෙන්න, එය එක් සිසුන් පිරිසකගේ මානසික අසහනය තවත් සිසුන් පිරිසකගේ කරමතින් පිටකරන මානසික රෝහලක් නම් නොවිය

කනිෂ්ඨ සිසුන්ව පිළිගන්නට, විශ්ව විද්‍යාලිය ජිවිතයට හුරු කරවන්නට, සබකෝලය නැති කරවන්න, ලොකු ලයින් බස්සවන්න යනාදී වශයෙන් නොයෙකුත් හේතුන් වලට වහන් වී සිදු කරන නවක වදය නම් තුප්පහි ක්‍රියාවට රොටියා දැඩිවම විරුද්දය. නවක වදය ඔලුව උඩින් තියාගෙන සිටින අය නම් රොටියාව අලයෙක් ලෙස පතුරු අරින්නට පුළුවන. රොටියාට හැඟෙන පරිදි නවක වදයෙන් සිදුවෙන්නේ පහත ඒවාය (අදහස් දැක්වූ ලපයාට ස්තුතිය)

කෙල්ලෙක් නැතිව වේලෙන හඩු කොල්ලන්ට , අලුතෙන් පැමිණි කොලු කෙල්ලන්ට රැස් පෙන්නිය හැකි වීම
බය කොට කෙල්ලෙක් යාලු කරගත හැකි වීම
අංගයක් පුලාවක් නැති කොල්ලන් මෙන් වූ කෙල්ලන්ට, ලස්සන කෙල්ලන්ව පතුරු යැවිය හැකි වීම
කොහෙන්වත් පිට කර ගත නොහැකි මානසික ආතතිය පිට කර ගත හැකි වීම
කුණුහරුපයෙන් බනින්නට කට පදම් වීම
සහ තවත් දේ

කරුණාකර හරි දේ තෝරාගන්න. රැග් වෙන්නෙත් නැතුව රැග් කරන්නෙත් නැතුව ඉන්නා කොන්දක් ඇති කොල්ලන් හා කෙල්ලන් මම අනන්තවත් දනිමි. ජෙෂ්ටයින්ගේ ඉල්ලීම් දිගින් දිගටම ප්‍රතික්ෂේප කරමින්, රැග් වන ලෙස කෑ ගසමින් ජෙෂ්ටයින් පසුපසින් පන්නගෙන එන විට ගැහැනුකම අමතක කොට තාප්ප පඳුරු මතින් පනිමින් දිව ගොස් බේරුණු ගෑණු ළමයෙක් ගැන මම දනිමි. ඇය අද තමුන්ගේ ඒ පෞර්ශය විදහා දක්වන නිලයක් දරමින් සිටිනවාය.
සමාවෙන්න අමතක විය. මා ලියන්නේ මේ එකෝමත් එක දවසක කතාවයි

ඉතින් ටික ටික මමත් විශ්ව විද්‍යාලිය ජිවිතයේ පැල පදියම් වීමට පටන් ගත්තෙමි. මුලදී තිබූ කලබලය දුරු වෙනවාත් සමගම මෙන්න මගේ වංචාකාර කුමාරි මාත් එක්ක නැවත හිනා වෙන්න පටන් ගෙන. අමාරුවෙන් ටික ටික මාත් එක්ක හිනා වෙන්න පටන් අරගෙන. ට්‍රොනික් ගෑණු ළමයෙක් මාත් එක්ක හිනා වෙන්න අරගෙන

තේරුම් ගන්න ගොනා හැරුනේ පොල් පැලය කන්නය. මගේ බුරු හිත නැවත බුරු වෙස් බැන්දේය.


No comments:

Post a Comment