Monday, June 9, 2014

මගේ සඳ ඔබ - අනන්තයේදී

මගේම සිමා මායිම් ඇතුලේ , මමම හෙම්බත් වෙලා. හුස්ම ගන්නවත් මහන්සි තරමට.
හැමදාම, ඔව් හැමදාම මම ජිවත් උනේ මගේ ලෝකෙක. ඒ ලෝකෙ හිටියේ මායි මගේ පවුලේ අයයි විතරයි. ඇයි මගේ බල්ලත් හිටියා. හාවෝ හතරදෙනෙකුයි, තාරාවෝ දෙන්නෙකුයි, ස්ලිංකි කුකුල්ලෝ දෙන්නෙකුයි හිටියා මගේ ලෝකෙ බෙදා ගන්න.
ඉස්කෝලේ යන කාලේදී යාලුවෝ හිටියා. ඒත් ඒ කිසිම කෙනෙක්ව මම මගේ හිත ඇතුලට ගත්තේ නෑ.

පිරිමි ළමයි.. අනේ දෙවියනේ පිරිමි ළමයි කියන්නේ කවුද කියන ඒකවත් මම දන්නේ නෑ. මම දැනන් හිටියේ මගේ රැවිල්ලයි, දත්මිටි කෑමයි, එරවිමයි හින්ද අල්ලපු ඉස්කෝලේ ළමයි මට නමක් හදල තියෙන බව විතරයි.

ඒක දැන ගත්තෙත් දවසක් මට පෙන්නන්න බැරුව හිටිය කොල්ලෙක් ඒ නම කියල මහා දවාලේ පාර මැද්දේ කෑ ගහපු හින්දයි. ඒ කිව්වේ මටමයි කියල මම හරියටම දැනගත්තේ මාත් එක්ක ගිය මගේ යාළුවගේ නම කියල, ඊළඟට එයත් එක්ක යන එක්කෙනා කියලම කෑ ගැහුව හින්දයි.මට දැනුනා මගේ කන් රතු වෙලා, ඇස් දෙකෙන් ගින්දර පිටවෙනවා කියල. මොලේ ටිකක් හරි තියෙන ගෑණු ළමයෙක් උනා නම් කරන්නේ කෑ ගැහුවේ තමුන්ට නෙවෙයි වගේ තමුන්ගේ ගමන යන එක

ඒත් මං එහෙම නෑ. තරහවක් ආපුවාම මට මාව පාලනය කරගන්න බෑ

මම රවාගෙන , දත්මිටි කාගෙන හැරුනා කෑගැහුවේ කවුද කියල බලන්න. අද මට හිතා ගන්න බෑ මම එදා ඒ තරමටම මෝඩ උනේ කොහොමද කියල. මාත් එක්ක ගිය යාළුවා හරියට උත්සහ කළා මාව ඇදගෙන යන්න. ඒත් එහෙම යයිද මන්..

මම හැරුනා. යකා මුණ දාගෙන හැරුනා. ඒ පිරිමි ළමය විතරක් නෙවෙයි, එයාගේ ඔක්කොම යාළුවො ගල්බිත උනා. මම රවාගෙනම උන්නා.

ඒත් .. ඒත් ඊළඟ තත්පරයේදී ඒ ළමයාගේ මෝඩ මුණ හින්ද මට හිනා ගියා. මිටි කාගෙන හිටපු දත් ඇඳී දෙක පලාගෙන හිනාවක් එලියට පැන්නා. ඒක කවුරුත් දකින්න කලින් ආපහු හැරුණු මම යාලුවත් දාල දුවල ගිහින් දැකපු බස් එකක එල්ලුනා.

විනාඩි එකහමාරක් විතර හති ඇරලා බැලුව බස් එක කොහෙටද යන්නේ කියල

"වව්නියාව-කොළඹ"

No comments:

Post a Comment