Sunday, July 13, 2014

එකෝමත් එක දවසක - දවසක්දා 05

සිහිවන විට හීන් කිතියකින් හද ඔද්දල් වන සිත්තටික් සිහිනයක කෙමෙන් කෙමෙන් මා ගිලී යමින් ඉන්නා මාව මටම දැනිණි. ටිකෙන් ටික මේ ගෑණු ළමයා මගේ හිත ආක්‍රමණය කරන්නට වුවාය. නමුත් මා කවදා හෝ පෙම්වතිය කරගන්නට සිහින මැවූ සුදු ලස්සන ගෑණු ළමයා ඈ නම් නොවන බව මට වැටහුනේ ඇයගේම කතාවෙනි.

අලුත් පෙම් කතාව දැනගත් ලපයා ඒ සඳහා මාව දිරිගැන්වුයේ ඇත්තටම මාව විස්මයට පත් කරවමිනි. "යකෝ.. උඹ ඔය හොයන කැරපොතු බෝනික්කන්ට වඩා, පොලවේ පැය ගහල ඉන්න ගෑණු ළමයෙක් වටිනවා බං. මොකෝ උඹ කියලත් කුමාරයෙක් වගේ පෙනුම තියෙන එකෙක් නම් කමක් නෑ.."

ගෙම්බාගේද ප්‍රතිචාරය මේ හා සමාන විය. ඉතින් ගෑණු ළමයාගේ කැමැත්ත අකමැත්තවත් නොදැන උන් මගේ හිත කැමැත්ත හා යතාර්ථය අතර දෝලනය වන්නට විය. මෙපමණ කලක් හදවතට එකඟව ආදරය කොට අනාගෙන හතරවටේ ගා ගත් මම, මෙවර බුද්ධියට අවස්තාවක් දීමට අන්තිමට හිත හදා ගත්තෙමි

මා ඇගේ දුරකථන අංකයවත් අඩු තරමේ දැන උන්නේ නැත. ඊළඟ දිනයේ මුහුණු පොතේ සංවාදය අතරතුර මම ඇගේ දුරකථන අංකය විමසු අතර, පැනයත් සමගම ඈ සංවාද ලැයිස්තුවෙන් අන්තර්ස්ධාන වූවාය. ඕනෑ මගුලක් වෙන්නටයි හිතා මම මගේ දුරකථන අංකය ලියා ඇයට පණිවුඩයක් තැබීමි. කැමති නම් එවන්නේ නැතැයි..

දවස් කීපයක් නිශ්ශබ්දවම ගෙවුණි.. එක් දිනක් හදිසියේම නොදන්නා ඩයලොග් අංකයකින් පැමිණි පණිවුඩයක් මෙසේ විය..

"ඔයාගේ මුණුපොතේ නුදුටු යාලුවන්ගෙන් එක්කෙනෙක් මේ පණිවුඩය එවනවා.."

ඒ කව්දැයි සොයන්නට මට නැවත පොත් පෙරලා බලන්නට උවමනා නොවිය. හැරෙන තැපෑලෙන්ම මෙසේ යැව්වෙමි

"මට ඉන්නේ එක නුදුටු යෙහෙලියක් පමණයි. ඔයා _________ නේද?

පසුව මම දැනගන්නට යෙදුනු පරිදි ඇගේ පැත්තෙන් මුලින්ම මා ගැන විශේෂ හැඟීමක් මෝදු වී ඇත්තේ එදාය

එක් දිනකදී ඈ හා මා අතර චැට් පණිවුඩ කියක් හුවමාරු උණාද යත්, හදිසියේම ඇගේ කටහඬ ඇසීමේ නොනිත් ආසාවකින් මගේ හිත පෙලෙන්නට විය. ඇයට ආයාචනා කොට පලක් නොවුණු තැන මුරණ්ඩු ලෙස මම ඇයට ජිවිතයේ ප්‍රථම වරට ඇමතුමක් ගත් අතර ඇය ක්ෂණිකව එය විසන්දි කළාය. දෙවන ඇමතුම ලබාගැනීමේදී ස්වයංක්‍රිය වාදනයෙන් කියවුනේ ඈ දුරකථනය ක්‍රියා විරහිත කොට ඇති බවයි..

මගේ හිත කඩා වැටුණි.. දුරදිග නොබලා සිදුකල දේ නිසා යාලුකමත් නැතිවිදෝ යයි සැකයකින් හද කොනිති ගැසුවේය. සමාව ඉල්ලා පණිවුඩයක් යැව්වද එය ඈ වෙත ළඟාවූ බවට කිසිම සඳහනක් නොවිණි. සෑහෙන වෙලාවකට පසුව ඇගෙන් මෙන්න මට පණිවුඩයක්..

"මට තියෙන්නේ බෙලෙක් කටහඬක්.. ඔයා බයවෙයි මාත් එක්ක කතා කලොත්.."

මම පස්වනක් ප්‍රීතියෙන් ඔකඳ උනෙමි. ඈ මා සමග අමනාප වී නැත..

දින දෙකක් තිස්සේ පින්සෙන්ඩු වීමෙන් පසුව ඈ මා හා කතා කරන්නට එකඟ වුවාය.. හැබැයි විනාඩි දෙකයි..

ඉතින් රුපියල් දෙසිය ගානක රිලෝඩයකින් සන්නද්ද වූ මම එකෝමත් එක දවසක හවස් යාමයක මගේ නුදුටු මිතුරියට හා පුරා කියා ඇමතුමක් ලබා ගතිමි

දුරකථනය නාද වෙන හඬ මට ඇසුනි. ගන්න පාටක් නැත.. මගේ හද ගැස්ම මටම ඇහේ..

සැලකිය යුතු වෙලාවක් ගතවූ පසු මගේ බලාපොරොත්තු වියැකී යන්නට ඔන්න මෙන්න තිබියදී ඈ ඇමතුම ලබා ගත්තාය..

අප දෙදෙනාම ටික වෙලාවක් යනතුරු කතා කළේ නැත. ඈ හුස්ම ගන්නා හඬ මට ඇසුනි. නිහඬතාවය දරා ගත නොහැකි තැන මම කතා කලෙමි..

"හෙලෝ.."

මගේ ජිවිතයේ ඇසු මිහිරිම සිනාවද ඊළඟට ඇගේ කටහඬද මට ඇසුනි.." හෙලෝ ඔය ... ද?"

"කවුද අනේ ඔයාගේ කටහඬ කැතයි කියන්නේ.."

ඈ නොනවත්වාම හිනැහෙන හඬ මට ඇසුනි. විස්වාස කරන්න .. මුල්ම රුපියල් සියය කැපෙන තෙක්ම මගේ සඳවතිය හිනැහුනා පමණය..





1 comment: