Thursday, August 28, 2014

එකෝමත් එක දවසක - දවසක් දා 07

ඉර පායන බවත්, මල් පිපෙන බවත්, කුරුල්ලන් සින්දු කියන බවත් මට හැඟී යන්නට විය.හේතුවක් නැතුව නිතරෝම හිනැහිමෙන් ආරම්බ වූ රෝගය , නාන කාමරයේ ගී ගැයීම තරමටම උත්සන්න විය. හීන, හුදෙක් වචනයක් නොවන බව වැටහෙන්නට විය. රුපයට ඇතිවන කැමැත්ත හා කෙනෙකුගේ ගතිගුණ වලට ඇතිවන ආදරය අතර වෙනස ජිවිතයේ මුල්වරට මා තේරුම්ගත්තේ මේ සමයේය

එදා ඇතිවුණු කතාබහෙන් පසුව ඈ මා සමග අමනාප වේයැයි සිතා උන්නත් එසේ වුයේද නැත. පැවසිය යුතු දේ මුහුණටම පැවසීමෙන් පසු මෙන්න ඈ නැවතත් පෙර උන් ලෙසම..

තවත් ඇද ඇද ඉඳීමේ තේරුමක් නොවේ යයි මටම හැඟී ගිය නිසා මම දිනක් ඈට ඇමතුමක් ගත්තේ මා සතු සියලුම ධෛර්යය එකතු කරගෙනය.

මා හතර අතේ වන වනා ඈට අපි දෙදෙනා ළඟදීම මුණගැසෙන්න උවමනා බව පවසන්න වෑයම් කලෙමි. මොන දේ දෙඩෙව්වත් උවමනා දෙය පැවසෙන්නේ නැත

හිතේ ඇති දේ කියා ගත නොහැකිව හතර විලියෙන් මිරිකී ඇමතුම විසන්දි කරන්නට සැරසෙනවාත් සමග ඈ නැවතත් මට කතා කළාය

"මට මේ ඉරිදා බෝඩිමට එන්න වෙනවනේ. සඳුදා එග්සෑම් නිසා. ඕනේ නම් මට ඉරිදා උදේම එන්න පුළුවන්"

කියවන ඔබ විස්වාස කලත් නොකලත් මගේ ගෑණු ළමයාට අන්න එච්චර කොන්දක් තිබුණි. මට මං ගැනම අනුකම්පාවෙන් බිම ඉඳගෙන අඬන්න හිතුනේය.

අවුරුදු ගානක් අනාගත් මට ඒ වන විට මොලේ පෑදී ඇතැයි මම අවංකවම හිතාගෙන උන්නෙමි. මම කට ඇරියේ " එහෙම නම් නියමයි නේ, මටත් ඉරිදට වැඩක් තියෙනවා , අපි දෙන්නට මිට් වෙන්න පුළුවන් වෙයි නේ " කියන්නටය

ඒත් මගේ හත්ඉලව් කට පැවසුවේ වෙනත් දෙයකි

"මට ඉරිදට කරාටේ ක්ලාස් තියනවනේ"

කියපු දේ ආපසු ඇද ගත නොහැකිව මම දිව විකා ගත්තෙමි. දෙවියන් විසින් දෝත බදා ලබා දුන් අවස්තාව මග ඇරගත් හිපාටුවෙකු වූ මම හද්ද කුණුහරුපෙන් මටම බැනගෙන , තව කුණු හරුප ටිකක් අහගන්නට ලපයා ඇමතුවෙමි.

මේ වනවිට විශ්වවිද්යාලිය ජිවිතයේ අවසන් වසරේ සිටි ලපයා කුණු හරුපයට කෙතරම් කට හුරුකරගෙන උන්නාද යත් , ඌ එදා පැවසු දේවල් සමහරක් අදටත් මට පැහැදිලි නැත.

"කතා කරපිය ගස් ගෙම්බා, කියපිය තොගේ *&%// ක්ලාස් එක ඉරිදට නෑයි කියල. ඇට රිලවා. තෝ ඔය චාන්ස් එක මිස් කරගත්තොත් නම් (ඉතුරු හරිය මෙහි ලියන්නට බැරිය)

මම ඉතින් ආයෙමත් සැරයක් ඈට ඇමතුමක් ගත්තෙමි

"මේ, මේ සතියේ කරාටේ ක්ලාස් නෑලුනේ.. මම සර්ගෙන් ඇහුවා. මටත් පොඩි වැඩකට බම්බලපිටිය පැත්තේ එන්නත් තියෙනවා. අපි මිට් වෙමුද.. මට ඔයාව බලන්න හරි ආසයි.."

"බෑ අනේ.. මම ඉරිදා හවස් වෙලාම එන්න හිතුවා.."

ඈ මට කිතුල් පොල්ලකින් පත බෑවානම් ඔයිට හොඳය. ඉතින් මම මගේ ලැජ්ජාව , හැදියාව ඔක්කොම පැත්තකින් දමා ඈට පැමිණෙන ලෙස පින්සෙන්ඩු උනෙමි

ඈ කැමැත්ත පල කළේ එදා රාත්‍රියේය.. අවසානයේ මම දිව්‍යලෝකය දුටුවෙමි

"හැබැයි මම කලුයි. ගොඩක් මහතයි. ඔයා මොනවා හිතයිද දන්නේ නෑ.."

"කළු කියන්නේ කැත පාටක් ඈ.. අනික මාත් මහතයි.. ඔයා එන්නකෝ" මම දාර්ශනිකයෙකු ලෙස පැවසීමි

ඉතින් ඊළඟට පැමිණියේ මගේ ජිවිතයේ හෙමින්ම ගෙවීගිය දින දෙකය. මුහුණු පොතේ මවිසින් ඈව හමුවන්නට ගෙවෙන්නට ඇති පැය ගණන පැයෙන් පැය යාවත්කාලින කිරීම, මගේ මිතුරන් ඔක්කොම හද පත්ලෙන්ම මට සුබ පැතීම මෙන්ම මාව මැඩවීම,ලපයා තකහනියේ පැමිණ මට ඇඳුමක් අරන් දීම, ඈට ගෙනගිය යුතු තෑග්ග ගැන කල්පනා කිරීම ආදී නොයෙකුත් දේ අතර වුවද තත්පරයක් මට පැයක් ලෙස දැනුනි

අවසානයේ මෙන්න මගේ දවස..

නියමිත වෙලාවට පැය දෙකකට කලින් එම්.සී එකට ගිය මම කුඩා ටෙඩියෙක් හා චොකලට්ටුවක් ගත්තේ ඈට දෙන්නය.

ඈ පැමිනේයැයි කියූ වෙලාව ට තව කල්පයක් ගෙවුණු අතර, මදින් මද වෙලාව ගෙවී ගියද ඈ පැමිණෙන පාටක් නැත

ඇමතුමක් ගත් කල පැවසුවේ ඈ තවමත් මග හෙයින් පරක්කු වන නිසා මට හැරී යන ලෙසය. එහෙත් මා උන්නේ මාසයක් හෝ එම්. සී එකේ ලැග හිඳ ඈව බලාගෙන මිස හැරී යන්නට නොවේ.

ඇතුළු වීමේ දොරටුව දෙස බලාගෙන උන් මට , එම්. සී එකට ඇතුළු වන කළු, මා වැනි හතරක් තරම් ප්‍රමාණයකින් යුතු ගෑණු ළමයෙකු පෙනුනි. ආ සැනින් ඈ දුරකථනය අතට ගෙන ඇමතුමක් ගන්නවාත් පෙනුනි. සිතල වී ගිය, මදක් වෙව්ලන අතින් අල්ලාගත් දුරකථනය දෙස මම බලාපොරොත්තු සහගතව බලාගෙන උන්නෙමි.

විනාඩි දෙකක් පමණ ගෙවී ගියද ඇමතුමක් නොපැමිණි බැවින් මම ඈට ඇමතුමක් ගත්තෙමි. ඒ වනවිටත් ඈ උන්නේ මගය. මගේ ඇඟට යන්තම් ලේ පොදක් ඉනුවේය.

ආයෙමත් එවැනි තිගැස්සිම් ඇති නොවන්නට මම එයින් පසු පළමු මහලේ කඩසාප්පු අතර ඇවිදිමින් උන්නෙමි. කතාකරගත් වෙලාවට හරියටම පැය දෙකකට පසු මගේ දුරකථනය නාද විය

"හෙලෝ ඔයා තාම ඉන්නවද?" මදක් ගැස්සෙන ලා හඬකින් ඈ ඇසු අතර ඈ කෙතරම් පහත් ස්වරයකින් කතා කලාද යත් මට ඈව ඇසුනේ යන්තමිනි.

"ඔව්...."

"මම පොන්ඩ් එක ළඟ"

මම අඩි දෙකට පහලට බැස්සෙමි. පොකුණ ළඟ මට පිටුපස හරවාගෙන කුඩා ගැහැණු ළමයෙකු වාඩි වී උන්නේය. ලොකු මල්ලක් ඈ ළඟ බිම තබා තිබුණි. මගේ හද නැවතුනේ නැතැයි කිවොත් එය බොරුවකි

මම දැන් ඈ ඉදිරියේ.. එම්. සී එක ඇතුලත විදුලි පහන් දහස් ගණනක ආලෝකයෙන් දිලිසෙන්නේ මගේ ජිවිතයේ හවුල්කාරිය බව එක් මොහොතකින්ම මට වැටහුනේය.




1 comment:

  1. රොටියටත් වුන දේවල්.. මොනවා උනත් ලපයා එළ කොල්ලෙක්.

    ReplyDelete