Thursday, February 12, 2015

අපිත් ත්‍රීවිල් වර්ජනය කරමු ! (ද?)

ලිපියට මාතෘකාව සැපයුවේ උදේ කනවැටුණු සිංහ එෆ් එම් හි විකාශය වුනු වැඩසටහනක් ය

රොටියා ද දිනපතා , උදේ හවස ඔෆිස් යන එන වැඩ කරන ජනතාවගෙන් එකෙකි

මේ රටේ වැඩකරන ජනතාවට , බොහෝ විට අමාරුව ඇත්තේ වැඩ සම්බන්දව නොව ප්‍රවාහනය සම්බන්දවය. උදේ අටහමාරට , නවයට සැනසිල්ලේ සේවයට වාර්තා කරන , හතර වන විට ඔපිසියෙන් පැනවිත් දුම්රිය, සී ටි බි බස් අරක් අරගෙන, අනෙක් එව්වන්ට ඒ පහසුකම් බාවිතා කිරීම එපා කරවන රාජ්‍ය සේවයේ බහුතරය ගැන නොව (බහුතරය යන්න යටින් ඉරක් ගසාගෙන කියවන්න) රොටියා මේ කතා කරන්නේ ඇත්තටම වැඩ කරන ජනතාව ගැනය.

කාර්යාලයට යාමට රජයේ ප්‍රවාහන සේවා බාවිතා කරන්න හැකි නම් මල් හතය. ඒවා කොටන්නේත් නැත. ලතවන්නෙත් නැත. වියදමද පහසුය. ඔක්කොම හොඳයි මුක්කම නරකයි කිව්වා සේ තියෙන එකෝම එක පරහ අර ජාතියේ එව්වන්ය. උන් හතර වදිද්දී පැනගෙන විත් ආසන බදු ගනිති. දුම්රිය නම් ගමන් වාරයට පෙර ඉස්ටේසමේ නවතා ඇති විට. ගමන් වාරය ඇරඹුණු පසු ලඟපාත හිස්ව ඇති අසුන් අත පය බෑග් ලේන්සු (පුළුවන් නම් මේ සඳහා උන් අහවල් ඒකත් පාවිච්චි කරනවා ඇත) වලින් වසාගෙන දන්නා උදවියව ඒවායේ වාඩි කරවා ගැනීමට වලි කති..

දුම්රියේ ගමන ගැන කියන්නට ගියහොත් එය වෙනමම පොස්ටුවක් වන නිසා දැන් රොටියා මාතෘකාගත වෙනවාය.කතා කරමින් උන්නේ ගමනාගමය ගැනය..

බස්රියේ ගොස් ඇතිවුණු එකා ඊ ලඟට දුම්රියට පැන එහිවත් යන්න පුලුවනිදැයි විමසා බලයි. දුම්රියේ ඇති උප සංස්කෘතියට හැඩ ගැසිය හැක්කේ නම්, ජිවිත කාලය තුල දුම්රියේ ගමන ඇත හරින්නේ ඌ හෙම නොවේ. සින්දුවක් කියා, කාඩ් අතක් සෙල්ලම් කර, මොනවා හෝ බඩට දාගෙන..

ඒකත් දිරවා ගත නොහැකි සුළුතරයට ඉතිරිවන්නේ කියක් හෝ වැඩිපුර දීගෙන හෝ කාර්යාල ප්‍රවාහන සේවයකට ගොඩවන්නටය. ඔපීසිය ඉදිරියෙන්ම යන එකක් ලැබුනොත් නියමය. ඒත් බොහෝ විට කාර්යාල ප්‍රවාහන සේවයෙන්ද ගොස් ස්වල්ප දුරක් බසයෙන් යන්නටද සිදුවේ

තුන් සක රිය පිහිටට එන්නේ ඔන්න ඔවැනි වෙලාවටය. ඒ කියන්නේ නියමිත වෙලාවට , නියමිත නැවතුමකට පැමිණෙන කාර්යාල ප්‍රවාහන සේවය හෝ දුම්රිය හෝ (කලාතුරකින්) බස්රථය මගහැරී වල්මත් නොවෙනු පිණිස නුවණැත්තෝ තුන් සක පාවිච්චි කරත්! එහි ආනිසංස මෙසේය

1. පොදු ප්‍රවාහන සේවයට වඩා ඉක්මන් වීම - ඒත් සමහරක් රියදුරෝ යන්න යන්නේම වම් ධාවන තීරුවේ බසයක් පිටුපස කොටමින්මය. උන් හිතන් ඉන්නේ මිනිස්සු මුදල් ගෙවා ත්‍රිරෝද රියෙහි යන්නේ වාඩි වී හුලන් වැදී වැදී ආතල් ගැනීමට කියාය. රොටියා නම් පළමු අනතුරු සංඥාව නිකුත් කර , දෙවැනි වතාවේ රථය නවතා ගිය දුරට මුදල් ගෙවා වෙන අතක් බලා ගන්නවාය.

2. වාහන තද බද වලදී රිංගා යා හැකි වීම

3. අතුරු පාරවල් වලින් යත හැකි වීම

4. වැසි වෙලාවට

5. අසනීප වෙලාවට

හොඳය. ඒත් ඔක්කොම නොවේ. සාධාරණ විනීත රියදුරන් අතලොස්සක් සිටියද යට කියන ඒවා ගැන නම් කතා නොකරම බැරිය

2000 CC එන්ජින් දාරිතාවයකින් යුත් රොටියාගේ වාහන ය පෙට්‍රල් ලීටරයකින් කිලෝමීටර 8 ක් දුවන්නේ හොඳටම කොට කොට ගියොතින් පමණක්ය. බොහෝ විට ලීටරයකට කිලෝමීටර 10ක් දුවයි (කිලෝමීටරයට රුපියල් 14 යි )

1500 CC එන්ජින් දාරිතාවයක් ඇති රොටියාගේ මස්සිනාගේ වාහනය ලීටරයකට කිලෝමීටර 15 -16 අතර ප්‍රමාණයක් දුවයි. නරකම වේලාවකදී නම් 12-14 ත් අතර ප්‍රමාණයක් දුවයි(කිලෝමීටරයට රුපියල් 9 යි )

800 CC එන්ජින් දාරිතාවයක් ඇති රොටියාගේ මිතුරෙක්ගේ වාහනය නිදහස් ගමනකදී නම් ලිටරයට කිලෝමීටර 20 කටත් වඩා දුවනවාලු. නැත්නම් 18 පමණ වැඩ කරනවාලු (කිලෝමීටරයට රුපියල් 6.50 යි )

මේවා ඉලෙක්ට්‍රික් වත් , දෙමුහුන් වත් රථ හෙම නොවේ. සාමාන්‍ය වැසියන් බාවිතා කරන පරණ පෙට්‍රල් වාහන තුනක් පමණි

ඕවා ඔහොම වෙද්දී 200 CC එන්ජින් දාරිතාවයක් ඇති තුන් සක් රාජයා කිලෝ මීටරයකට රුපියල් පනහකට කිට්ටු ගණනක් අය කරනු ලබයි. හතළිහයි යි කිව්වාට ඔක්කොම මීටර එක වගේ නෙවේය. සමහර විටෙක ලැම්බෝගිනි වෙස්වලාගෙන ත්‍රිරෝද රථ ලෙස පෙනී සිටිනවාද කියා කියන්නත් බැරිය. කොහොමෙන් කොහොමහරි දුප්පතාගේ වාහන යයි කියමින් මොවුහු සූරා කන කෑම නම් අපූරුය

ගෙවෙන ටයර, කෑලි බෑලි, දවසේ ලාබය ඔය ඔක්කෝම එකට එක්කාසු කලත් කිලෝමීටරයකට රුපියල් 20- 25 අතර අගයක් නම් සාදාරණයයි කිව හැක. දැන් කරන්නේ බාගෙන කන්න තියෙන වල ඉහගෙන කෑමකැයි රොටියාට හිතෙන්නේ ඒ නිසාය

ත්‍රිරෝද රථ හිමිකරුවන් කෝටිපතියෝ නොවෙත්! අනෙක් අතට එහි ගමන් ගන්නා මගින්ද කෝටිපතියෝ නොවෙති.

අනෙක් ප්‍රධානම කරුණ නම් මෙම රියදුරන්ගේ ඇති අවිනීත රිය ධාවනයයි. ප්‍රධාන නගර වල වාහන තදබද වලට වැඩි දායකත්වයක් සපයන්නේද ඔවුන්ය

කෙටි මං තිබියදී, මගින් මුලා කරමින් දිගු පාරවල දක්කාගෙන යන මීටර් රතයන්ද බහුලය. අවධානයෙන් සිටින්න

අනෙක නම් පොඩි එව්වන් බලු පැටවුන් සේ පටවාගෙන්, උන්ව පාසල් වලට දක්කන ත්‍රිරෝද රථයන්‍ ය. අර ඩිසල් රථවල නම් පිටුපස බක්කියේත් පොඩි එව්වන් රංචු රංචු පටවයි. ඔයින් එකක් වැරදිලාවත් හැප්පුනොත් බඩු හම්බවෙන්නේ ඔයාකාරව අනාරක්ෂිතව ළමුන් පිටත් කර හරින බුරු අම්මල තාත්තලාටය

මොන දේ උනත් වැස්ස වෙලාවට ත්‍රිරෝද රියදුරන් බොහොමයකගේ ගනකම නම් මාරය. අන්ත අසරණ වී ලඟට පැමිණෙන මගීන්ටද 'බැහ්හ්' ගායි

එක්තරා මහා වැසි දිනෙක , අමු අමුවේ තෙමෙමින් ඉක්මන් ගමනින් බොරැල්ලේ ඇවිද යන ගෑණු ළමයෙකු දුටිමි. පාරේ උන් සියල්ලෝම කඩපිල් අස්සේ හුන් නිසා , අත් බෑගයක් එක උරයකද, බර යයි දිස්වුනු ලැප්ටොප් බෑගයක් අනෙක් උරයේද එල්ලාගෙන , කුඩයක්ද රහිතව තෙමි බත් වෙන මේ ගැහැණු ළමයා කැපී පෙනිණි. රොටියා ඈ දෙස බලා හුන් විනාඩි කිහිපය තුල ඇය ත්‍රිරෝද රථ ගණනාවකින්ම විමසනුද, ඔවුහු සියල්ලෝම හිස් සලා ප්‍රතික්ෂේප කරනුද දුටිමි. අවසානයේ ඇය දෙස බලාහුන් තරුණ වයසේ රියදුරෙකු , මහා ගෝට්ටියක් කර සිය රථය හරවාගෙන ඈ හුන් දෙසට පැමිණ ඈව රථයට නංවා ගත් කල රථයේ වාඩි වූ ඇගේ මුහුණේ වූ සැනසිල්ලද, බිය පහවීමද මනාව හැදින්නෙමි

ඉතින් ඔව්වා ඔයාකාරය. අපට කෙතරම් අවැසි උවත්, ඔවුන්ට අවැසි නැති නම් අප යටත් විය යුත්තෝය.

අලුත් ආණ්ඩුවත් සමග මේ හිසරදයක්ව පවතින ට්‍රැෆික් ප්‍රශ්නයට හා ත්‍රිරෝද රථ ප්‍රශ්නයට විසඳුමක් ලැබුනොත් නම් ජාතිය. රටේ වැඩ කරන ජනතාව උදේ හවස විඳින දුකත්, වැඩ නොකරන එව්වන් වැඩ කරන උන්ටත් පුප්පන් රථ පිරිවරාගෙන යන හැටියත් දුටු විට බිම පෙරලීගෙන අඬන්න හිතෙන්නේය. එහෙව් ජනතාව ත්‍රිරෝද රිය පාවිච්චි කරන්නේ ඉක්මනින් සහ පොඩ්ඩක් පහසුවෙන් ගමන් ගන්නට මිස බල්ලන්ට ගහන්න සල්ලි ඇති නිසා නොවේ..

2 comments:

  1. මමත් ඉඳහිට පරක්කු උනහම ත්‍රී විල් වල යනව ඒත් ඒ කරන්නම දෙයක් නැතිනම් විතරයි. වෙලා තියනවනම් හා සාමාන්‍ය දුරක්නම් මම ගොඩක් වෙලාවට කරන්නේ පයින් ඇවිදින එක.....
    හැබැයි ත්‍රී විල් එකක ගියාට පස්සේ උෟ අසාධාරණ විදියට ගාන කපාගන්න හැදුවොත් මම කරන්නේ හොඳ සන්තෝසෙන් පොරත් එක්ක හිනාවෙලා, පොර ඉල්ලන ගානටත් වැඩියෙන් රුපියල් 10ක් 20ක් දීලා, ඕනෙනම් තව Thank You එකකුත් කියලා ගොනාසේ බැහැලා යන එක (හරියට මම මීට වඩා වැඩි ගාස්තුවක් බල‍‍ාපොරොත්තු උනා වගේ)..... මොකද මම දන්නව‍ා පොරට එදා රෑට හරියට නින්ද යන්නෙත් නෑ 'අපරාදේ මට අරූට මීට වඩා ලොකු ගානන් කියන්න තිබුනානේ...' කියලා හිතෙනකොට.... උෟ දන්නේ නෑනේ මගේ කුප්පකම.

    ReplyDelete
    Replies
    1. මම මෙහෙට ආපු මුල් ටිකේ සතියට තුන්පාරක් විතර ත්‍රීවීල් වල යනවා. එහෙම ගිහිල්ලම සෙට් වුනු බුවෙක් හිටියා. මිනිහ පරක්කු වෙලා නං අපරාදේ කියන්න බෑ ඉක්මනට ගිහින් දානවා කොහොම හරි. මාත් හයර් එක 250 නං 300ක් ම දෙනවා. ඔහොම ගිහින් පස්සේ මිනිහ 300 ටම රෙජිස්ටර් උනා. ඊළඟට 500 දුන්නාමත් ඉතුරු දෙන එක මග ඇරිය කීප පාරක් . ෆිට් හින්ද මුකුත් කියන්නත් බෑ. අන්තිමට මම ටික ටික යන එක නැවැත්තුවා.

      Delete